Search This Blog

Monday, June 29, 2020

අඩ

අවශ්‍ය ද්‍රව්‍ය


  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. සීනි ග්‍රෑම් 350
  3. බිත්තර 1
  4. බටර් ග්‍රෑම් 50
  5. යීස්ට් පින්ච් එකක්
  6. ආප්ප සෝඩා තේ හැඳි 1
  7. පොල්කිරි කෝප්ප (උකු) කෝප්ප 1
  8. ලුණු පින්ච් එකක්

  • සීනි, බිත්තර සහ බටර් එකට දාලා බීට් කරගන්න. දැන් ඒකට උකු පොල් කිරි වලින් භාගයක් දාලා කලවම් කරගන්න.
  • ලුණු ස​හ පිටි ටික දාගන්න. ඉතුරු කිරි වලට යීස්ට් ටික දාලා කලවම් කරලා ඒක අර කලින් හදාගත් මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. අන්තිමට ආප්ප සෝඩා ටික දාගන්න.
  • මේක රැයක් පිපෙන්න තියලා අරගන්න. ඉන් පස්​සේ තාච්චියකට තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා, අඩු ගින්දරේ ලිපේ තියල ගිනි අඟුරු හෝ පුළුස්සපු පොල් ලෙලි දාගත්ත පියනකින් වහන්න ඕන. 
  • දර ලිපක නම් පොල් ලෙලි දාන්න පහසුයි. නැත්නම් පොල්කටු ටිකක් පුච්චල දුම් අල්ලන විදියට සකසගෙන ගන්න පුළුවන්.
  • මේ ක්‍රමය අමාරු අයට අඩ අලුත් ක්‍රමේට බේක් කරන්නත් පුළුවන්. මෆින් ට්‍රේ එකකට දාල සෙල්සියස් 160ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 8-10ක් වගේ බේක් කරගන්න. 

ඥාණ කතා

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. බටර් ග්‍රෑම් 50
  3. බිත්තර 1
  4. සීනි ග්‍රෑම් 100
  5. බේකින් පව්ඩර් තේ හැඳි 3
  6. වැනිලා ටිකක්

  • මුලින්ම බටර් හා සීනි බීට් කරගන්න.
  • සීනි හොඳට දිය උනාම බිත්තරේ දාලා බීට් කරගන්න. පාන්පිටි හා බේකින් පව්ඩර් එක් කරලා වෙනම හලාගෙන තියාගන්න. 
  • මේ පිටි මිශ්‍රණය බැටර් එකට එකතු කරලා වැනිලා ටිකකුත් දාල අනාගන්න.  පොඩ්ඩොන්ට දෙන්න පාට පාට ඥාණ කතා හදන්න නම් කැමති පාටක් එකතු කරගන්න. 
  • අතේ නොඇලෙන පදමට ඩෝ එක ආවම පොඩි පොඩි බෝල හදාගන්න. අතින් පොඩ්ඩක් පැතලි කරලා එක පැත්තක සීනි තවරගෙන බටර් ගාගත් තැටියක දාලා 180°Cට විනාඩි 20ක් බේක් කරගන්න.

වණ්ඩු ආප්ප

අවශ්‍ය ද්‍රව්‍ය


  1. තම්බාගත් පාන්පිටි ග්‍රෑම් 500
  2. පොල්වතුර කෝප්ප  1
  3. මිටිකිරි කෝප්ප 1
  4. සීනි ග්‍රෑම් 250 හෝ පැණි කෝප්ප 2
  5. දියකිරි කෝප්ප 1
  6. එනසාල් ඇට 3-4
  7. ආප්ප සෝඩා තේ හැඳි 1/2

  • පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. මේකට පැණි, පොල්වතුර හා දියකිරි දාලා හොඳට අනාගන්න. එනසාල් ටිකත් එකතු කරගන්න. මිශ්‍රණය තරමක දියාරුවට එයි. ඒක කමක් නෑ. දැන් මේක පැය 6ක් හෝ උදේට හදනව නම් රැයක් වහලා තියන්න ඕනේ. 
  • ඊට පස්සෙ අරගෙන මිටිකිරි ටික දාලා අනාගෙන ආප්ප සෝඩා තේ හැඳි 1/2ක් දාලා අනලා පැය භාගයක් තියන්න.
  • ස්ටීම් කරගන්න පොඩි ඇලුමිනියම් කප්‍ ටිකක් ලෑස්ති කරලා ඒකට කැන්ද කොළ දාලා මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා විනාඩි 20ක් ස්ටීම් කරගන්න.

පෑන් කේක්

බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය


  1. පාන්පිටි ග්‍රෑම් 300
  2. ලුණු
  3. බිත්තර 1
  4. කහකුඩු පින්ච් එකක්

පැණි පොල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය


  1. පොල් බෑයක පොල්
  2. සීනි ග්‍රෑම් 200
  3. තලාගත් කරදමුංගු ඇට 4-5
  4. වතුර කෝප්ප 1/2
  5. ලුණු
  • මේ ඔක්කොටම වතුර ටික ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න. තරමක උකු බැටර් එකක් හදාගන්න.
  • පැණිපොල් එක ලැවරියා වලට වගේම හදාගන්න. 
  • දැන් පෑන් එක ලිපේ තියලා බටර් ටිකක් ගාලා බැටර් එක දාලා තුනී රොටියක් දාගන්න. 
  • මේක අඩු ගින්දරේ පුච්චගන්න. මොකද පෑන් කේක් හදන කොට පුච්චගන්නෙ එක පැත්තයි. අනික් පැත්ත තැම්බුනාම ඇති.
  • දැන් ලිපෙන් බාලා රස්නෙ තියෙද්දි පුච්චපු නැති පැත්තෙ කෙලවරින් පැණිපොල් ටික තියලා දෙපැත්තෙන් නවාගෙ​න ලස්සනට බුරුල් වෙන්නෙ නැතිවෙන්න රෝල් කරගන්න.
     

ලැවරියා

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. ඉඳිආප්ප පිටි ග්‍රෑම් 500
  2. පොල් බෑයක පොල්
  3. සීනි ග්‍රෑම් 200
  4. තලාගත් කරදමුංගු ඇට 4-5
  5. වතුර කෝප්ප 1/2
  6. ලුණු

  • මුලින්ම පැණිපොල් එක හදාගන්න භාජනයක් ලිපේ තියලා සාමාන්‍ය ගාණට ගින්දර දාගන්න. භාජනේ රත් වේගෙන එනකොට සීනි ටික දාගන්න. සීනි ටික රන්වන් පාට වේගෙන එනකොට හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. තද පාටට කැරමල් වේගෙන ආවම වතුර දාලා හැඳිගාන්න.
  • ඒකට තලාගත්තු කරදමුංගු ටිකත් එක්ක කැමති නම් ලුණු පින්ච් එකක් දාගන්න. උතුරලා බුබුලු දාන තරමට ආවම පොල් ටික දාගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
  • ඉඳිආප්ප පිටි ටික පැකට්ටුවේ සඳහන් විදියට අනාගෙන ඉඳිආප්ප වංගෙඩියට පුරවගන්න. 
  • තෙල් ගාගත්ත කෙසෙල් කොළයක් හෝ ලන්ච් ශීට් එකක් උඩට ලොකුවට ඉඳිආප්පයක් වක් කරගන්න. 
  • මේක මැද්දට පොල්පැණි දාගෙන කෙසෙල් කොළේ දෙපැත්තෙන් අල්ලල පරිස්සමෙන් නවාගෙන ලොකු ලැවරියා වට්ටියක් උඩට හෝ ඉඳිආප්ප වට්ටි දෙකක් උඩට ලැවරියා එක දාගෙන විනාඩි හත අටක් ස්ටීම් කරගන්න. 

බර්ගර් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. යීස්ට් තේ හැඳි 2
  3. සීනි තේ හැඳි 2
  4. බටර් මේස හැඳි 2
  5. ලුණු
  6. ලා රස්නෙ වතුර ටිකක්
  7. කිරි ටිකක්

  • යීස්ට්, සීනි ලා රස්නෙ වතුර දාලා පිපෙන්න තියන්න. පාන්පිටි වලට ලුණු කලවම් කරලා යීස්ට් ටික දගන්න.
  • මේකට කිරි දාලා ඩෝ එක අනාගන්න. කිරි මදි නම් වතුර ටිකක් දාගන්න. බටර් ටිකත් දාගෙන හොඳ සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • මේකට විනාඩි 20ක්වත් හොඳට අනාගන්න ඕන. මේ ඩෝ එක බටර් ගාගත් බෝල් එකකට දාලා තෙත මිරිකපු රෙද්දකින් වහලා පැයක් පිපෙන්න තියන්න.
  • ආයෙ හොඳට වාතය යන්න ටිකක් අනාගන්න. නැවත පැය බාගයක් පිපෙන්න තියල හුළං ගතිය යන්න නැවත අනාගන්න. 
  • දැන් මේක පොඩි බෝල වලට කඩල, බර්ගර් බන් හැඩේට රවුම් කරල බටර් ගාපු තැටියක දාල තව විනාඩි 15ක් පිපෙන්න තියාගන්න.
  • සෙල්සියස් 180°Cට විනාඩි 15ක් බේක් කරගන්න.එළියට අරන් එග් වොශ් කරල තල ඇට ටිකක් ඉහගෙන තව විනාඩි 10ක් බේක් කරගන්න. එග්වොශ් කරන එක සහ තල ඇට ඉහින එක ඉක්මණින්ම කරගන්න ඕන. 
  • බේක් වෙලා නිවුණට පස්සෙ බන් එක මැද්දෙන් කපලා, බේකන් පෙත්තක්, ළූණුපෙත්තක්, සලාදකොළ, මස්ටර්ඩ් සෝස්, මයෝනිස් මේ ඕනම දෙයක් මැදට තියලා බර්ගර් එක හදාගන්න පුළුවන්.

ජෑම් බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. බටර් මේස හැඳි 4
  3. සීනි මේස හැඳි 2
  4. ලුණු
  5. යීස්ට් තේ හැඳි 2
  6. මද රස්නෙ වතුර
  7. ජෑම්

  • පිටි හා ලුණු කලවම් කරගන්න. සීනි හා ඊස්ට් වෙනම රස්නෙ වතුරෙන් කලවම් කර පිපෙන්න තියන්න. පිපුණු යීස්ට් ටික පිටි මිශ්‍රණයට දාගන්න. ලා රස්නෙ වතුර ටික ටික එකතු කරමින් සොෆ්ට් ඩෝ එකක අනාගන්න ඕනෙ. 
  • දැන් මේක තෙත මිරිකපු රෙද්දකින් එකකින් වහලා පැයක් පිපෙන්න තියන්න.
  • ඊට පස්සෙ ඒ පිටි මෝලිය තද කරල හුළං ගතිය යවල පොඩි බෝල හදාගන්න. මේ පොඩි බෝල රෝලින් පින් එකෙන් පොඩ්ඩක් තුනී කරලා මැදට ජෑම්  ටිකක් හරහට තියලා පැටිස් හදනවා වගේ වහගන්න.
  • කට වටේ වාටිය අතින් නවලා  ගෑරුප්පුවකින් තද කරගන්න වටේම ජෑම් එළියට නොඑන්න.
  • බටර් ගාගත් ට්‍රේ එකක බනිස් ටික තියලා කිරි උඩින් ගාලා සීනි හොඳට ඉහගන්න. 180°Cට රත් කරපු අවන් එකේ විනාඩි 30ක් වගේ බේක් කරගන්න.

කිඹුලා බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය


  1. පාන්පිටි ග්‍රෑම් 300
  2. බිත්තර 1
  3. යීස්ට් ග්‍රෑම් 5
  4. සීනි ග්‍රෑම් 50
  5. බටර් මේස හැඳි 2
  6. ලුණු
  7. රස්නෙන් වතුර ටිකක්

  • උණු වතුර වලට යීස්ට් හා සීනි තේ හැඳි 2ක් දාලා දියකරගන්න.
  • ඉතිරි ඩ්‍රයි ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න. මේකට බිත්තර හා බටර් ටිකත් දාගන්න. දැන් ඊස්ට් මිශ්‍රණය ටික ටික එකතු කරමින් ඩෝ එක හදාගන්න. හොඳට සොෆ්ට් වෙන්න අනාගන්​න පැය කාලක් වගේ. 
  • දැන් මේක වෙනම බෝල් එකක තෙත මිරිකපු රෙදි කෑල්ලකින් වහලා පැයක් පිපෙන්න තියන්න. අතින් තද කරලා වාතය අයින් කරලා ඩෝ එක දෙකට කපන්න. දැන් මේ දෙක වෙන වෙනම අරන් තුනී කරලා කොටු හැඩය කපාගන්න. කපාගත්ත කොටු ත්‍රිකෝණාකාර හැඩේට දෙකට කපාගන්න. 
  • ත්‍රිකෝණයේ මහත පාදයේ ඉඳන් උල් පැත්තට එනකම් පරිස්සමෙන් රෝල් කරගෙන කිඹුලා බනිස් හැඩය හදාගන්න. 
  • බටර් ගාපු තැටියක විනාඩි 15ක්  පිපෙන්න තියපු බනිස් වල දියකරගත් බටර් හෝ කිරි ගාලා සීනි ඉහලා බේක් කරගන්න. සෙල්සියස් 180°C ට විනාඩි 20ක් වගේ ඇති.

සීනි බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 500
  2. යීස්ට් තේ හැඳි 4
  3. බටර් මේස හැඳි 3
  4. කිරිකෝප්ප කාලක්
  5. ලුණු
  6. සීනි මේස හැඳි 4
  7. කිරිපිටි මේස හැඳි 2

  • උණුවෙන් හදාගත් කිරි වලට සීනි ටික දියකරගන්න. ඒක ටිකක් නිවිලා ලා රස්නෙ තියෙද්දි ඒකටම යීස්ට් ටිකත් දාලා පිපෙන්න දෙන්න. 
  • පාන්පිටි, කිරිපිටි හා ලුණු එකට කලවම් කරලා ඒකට කිරි ටික ටික දාලා ඩෝ එක අනාගන්න බටර් එකතු කරලා අනන්න.
  • ඇලෙන ගතියට තමයි ඩෝ එක එන්න ඕනේ. දැන් මේක බෝල් එකකට දාලා පැයක් වගේ තියන්න.
  • පිපුණට පස්සෙ අතින් තද කරලා හුලං යන්න ආයෙ ටිකක් පොඩි කරන්න. 
  • දැන් පොඩි පොඩි බෝල හදලා බටර් ගාගත් ට්‍රේ එකක් උඩ තියලා පිපෙන්න තියන්න. මේ බෝල වලට උඩින් කිරි ගාලා සීනී ඉහලා 180°C ට විනාඩි 20ක් බේක් කරගන්න.

මාළු බනිස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. පාන්පිටි ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 15
  3. ලුණු පින්ච් එකක්
  4. බිත්තර 1
  5. යීස්ට් ග්‍රෑම් 6
  6. කිරිපිටි මේස හැඳි 2
  7. ලා රස්නෙ වතුර මිලිලීටර් 100
  8. බටර් මේස හැඳි 2

ෆිලින්ග් එක සඳහා


  1. තම්බාගත් අල ගෙඩි 2
  2. සැමන් පොඩි ටින් එක්කක්
  3. චොප්කරගත් ළූණු ගෙඩි 1
  4. චොප්කරගත් සුදුළූණු තේ හැඳි 2
  5. ගම්මිරිස්කුඩු
  6. ලුණු
  7. චොප් කරගත් අමුමිරිස් 

  • මුලින්ම බන් එක අනාගමු. පිටි, සීනි, යීස්ට්, ලුණු සහ කිරිපිටි එකට එකතු කරගන්න. දැන් මේකට බටර් ටික දාලා අනන ගමන් බිත්තරය එකතු කරන්න. ටික ටික වතුර එක් කරගෙන හොඳට අනාගන්න. පිටි මෝලිය විනාඩි 15ක් විතර හොඳටම අනාගන්න ඕනෙ. අත්ලෙන් තෙරපමින් සොෆ්ට් ඩෝ එකක් හදාගන්න.
  • දැන් මේක බටර් ගාපු බෝල් එ​කක දාල තෙත මිරිකපු රෙදි කෑල්ලකින් වහලා ඩෝ එක දෙගුණ වෙනකම් පැ​යක් විතර පිපෙන්න තියන්න. 
  • පැයකට පස්සෙ ඩෝ එක අරගෙන තෙරපල හුළන් ගතිය යවල, පොඩි බෝල වලට කඩලා පැය බාගයක් වහල තියන්න. 

  • ඩෝ එක පිපෙන්න තියන පැයේ ෆිලින්ග් එක හදාගමු. මුලින්ම පෑන් එකක් ලිප තියලා තෙල් ටිකක් දාගන්න. තෙල් රත්වෙනකොට චොප්කරගත් සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න. ටිකකින් ළූණු ටිකත් දාගන්න. දැන් සැමන් ටික කටු අයින් කරල පොඩි කරලා එකතු කරන්න. අමුමිරිස් හා තම්බා පොඩි කරගත් අල එකතු කරන්න. ලිපෙන් බාන්න කිට්ටුව ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරන්න.
  • දැන් ඩෝ එකෙන් කඩාගත්තු බෝල එක ගාණෙ අරන් රවුමට හොඳට තුනී කරලා මැදට ෆිලින්ග් එක තියාගෙන තුන් හුලස් ආකාරයට නවාගන්න. හදාගත්ත මාළු බනිස් බටර් ගාගත්ත ට්‍රේ එකක අඟල් දෙකක පරතරෙන් තියල, තව විනාඩි 15ක් පිපෙන්න තියල උඩින් එග්වොශ් කරල 180°C ට විනාඩි 25ක් වගේ බේක් කරගන්න.

අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. හාල් ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 50
  3. සිහින්ව ගාගත් පොල් කෝප්ප  1
  4. කුඩුකරගත් එනසාල් ඇට ටිකක්
  5. ලුණු
  6. ගම්මිරිස්කුඩු
  7. පැණි බෝතල් 1/4

  • හාල් ටික පෙඟෙන්න තියල අරන් රන්වන් පාට වෙනකල් කබලේ බැදගන්න. දැන් මේක කුඩු කරගන්න. 
  • පැණි ටික රත් කරගෙන ඒකට  පොල්, එනසාල්, ලුණු, ගම්මිරිස්කුඩු එකතු කරලා ඒකටම කුඩු කරපු හාල් එකතු කරල අතේ නොඇලෙන පදමට ආවම ගුලි හදාගන්න.

පැණි වලලු

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. උඳු ඇට ග්‍රෑම් 250
  2. හාල්පිටි ග්‍රෑම් 100
  3. පාන්පිටි ග්‍රෑම් 50
  4. ඇඹුල් කෙසෙල් ගෙඩි 1
  5. ලුණු
  6. සීනි මේස හැඳි 1
  7. මිටිකිරි කෝප්ප 1/2

පැණිපත් කිරීමට

  1. පැණි බෝතල් 1/2

  • උඳු ඇට සෝදල රැයක් පෙඟෙන්න තියලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් දාලා, වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න.
  • මිශ්‍රණය පැයක් වගේ තියලා ලුණු හැර අනික් ඔක්කොම දාලා බැටර් එකක් හදාගන්න. මේක අවම පැය 5ක්වත් පිපෙන්න තියන්න ඕනේ.
  • පැය පහකට පස්සෙ ලුණු දාලා අනාගෙන පයිපින් බෑග් එකකින් හෝ පිරිසිදු රෙදි කෑල්ලක හිලක් හදලා රත් වුණු තෙලට රවුමට වගේ වක්කරන්න.
  • දැන් දෙපැත්ත හරවලා හොඳට බැදගන්න. 
  • පැණි ටික වෙනම භාජනේක ලා රස්නෙට රත් කරගෙන බැ​දපු වළලු ඒකට දාගෙන පැණි උරාගන්න තියන්න. 

අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. පැණි බෝතල් 1/2
  3. සීනි ග්‍රෑම් 50
  4. කජු

  • හාල්පිටි කබලෙ බැදගන්න. ඒකෙන් ටිකක් අයින් කරගන්න. කජු පොඩියට කපලා පිටි එකට දාගන්න.
  • පොල්පැණි හා සීනි එකතු කරලා උණු කරගන්න. පදම හරියට ගන්න ඕනේ. ඒ කියන්නෙ පැණි බිංදුවක් වතුරට දැම්මම යට යන පදමට එන්න ඕනේ. 
  • දැන් මේ පැණි පොඩ්ඩක් නිවුනම ටික ටික පිටි වලට එකතු කරන්න. ලා තද ගතියක් එනකල් අනාගෙන පිටි ඉහපු තැටියක ඉක්මණින් තුනී කරල උඩින් තව පිටි ඉසගෙන කපාගන්න.

මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. මුං ඇට ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 250
  3. හාල්පිටි ග්‍රෑම් 100
  4. පැණි බෝතල් 1/2

  • මුං ඇට ටික කබලෙ බැදලා කුඩු කරගන්න. භාජනයක් ලිපේ තියලා සීනි හා පැණි දාලා උණු කරගන්න.
  • මේකෙන් පැණි ටිකක් අයින් කරගන්න. ඉතිරි පැණි එක ටිකක් නිවෙන්න තියල හාල්පිටි හා මුං පිටි එකතු කරලා හැඳි ගාගන්න.
  • පිටි මදිනම් තව දාල, පැණි මදි නම් අයින් කරපු පැණි දාල අතේ නොඇලෙන පදමට හදාගන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා කිරිබත් කෑලි හැඩයට පොඩියට කපාගන්න.

බැටර් එකට


  1. හාල්පිටි ග්‍රෑම් 100
  2. මිටිකිරි කෝප්ප 1
  3. කහ ස්වල්පයක්

  • මේ ටික කලවම් කරලා උකු බැටර් එකක් හදාගන්න. කපාගත් මුං කැවුම් කෑලි බැටර් එකේ දාලා, රත් වුණු තෙලේ බැදලා ගන්න.

ආස්මී

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. බණ්ඩක්කා කරල් 10-15
  2. වතුර
  3. ලුණු
  4. මිටිකිරි කෝප්ප  2
  5. සුදු හාල් වතුරෙ විනාඩි 10ක් පොඟවලා, කොටලා, හලාගත්ත පිටි ග්‍රෑම් 500ක්

  • මුලින්ම හාල් පිටි ටික සිහින් හිල් සහිත පෙනේර​යකිනුත් ඕගන්දි වගේ රෙද්දකිනුත් දෙතුන් පාරකුත් හලාගන්න ඕන. අතින් ඇල්ලුවම ඇට ගතියක් නැති පවුඩර් වගේ සිහින් පිටි ඕන ආස්මි වලට. 
  • බණ්ඩක්කා කෑලි කපල යන්තම් වතුර ටිකක් දාලා වංගෙඩියෙ කොටාගන්න.
  • කොටාගත්ත බණ්ඩක්කා රෙදි කෑල්ලකට දාල මිරිකගෙන  සෙවල ඉස්ම ටික පෙරාගන්න.
  • පොල්කිරි වලට ලුණු ටිකක් දාගන්න.
  • හාල්පිටි වලින් පොඩ්ඩක් අයින් කරන් ඉතිරිය භාජනේකට දාල ඒකට පොල්කිරි එකතු කරල අනාගන්න. මේකට බණ්ඩක්කා ඉස්​ම ටික ටික දාලා අනාගන්න.
  • සැරෙන් සැරේ අත උස්සලා බලන්න නොකැඩී නූල වගේ වැටෙන පදමට ඇවිත්ද කියලා. දියාරු වැඩි උනොත් අයින් කරපු හාල් පිටි එකතු කරල පදම හදාගන්න.
  • තෙල් රත්වෙන්න තියාගන්න. ආස්මි හැන්දක් නැත්තන් අත මිශ්‍රණයේ කීපවරක් ඔබලා අරන් තාච්චිය වටේට රවුමක් විදිහට වක්කරගන්න. 
  • ආස්මිය බැදෙනකොට හොඳටම බැදෙන්න කලින් තෙලේ තියෙද්දිම තෙල් හැන්දෙන් දෙකට නවාගන්න. නවලා තද කරගන්න කැඩෙන්නෙ නැති වෙන්න. 
  • මේ ටික බැදගෙන, තෙල් බේරගෙන, හොඳට හුළං නොවදින්න භාජනයක අසුරලා තියන්න. අයෙ දවස් 4කින් වගේ දෙවෙනි පාරට බැදගන්න ඕනේ. එතකොට තමයි ආස්මිය සුදු පාටට ලස්සනට එන්නෙ. දෙවනි පාර වැඩි වෙලා බදින්න අවශ්‍ය නෑ. තෙලට දාපු ගමන් සුදු පාට උනාම අරගන්න. 

ආස්මියට පැණි දැමීමට

  1. සීනි ග්‍රෑම් 100
  2. වතුර
  3. ‍රතු කලරින්

  • සීනි හා වතුර එක්කරලා ලිපේ තියන්න. ඒක නූල් ඇදෙන පදමට ආවම කලරින් එකතු කරලා ආස්මි උඩින් රටාවට වක්කරගන්න.

කොකිස්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. හාල්පිටි ග්‍රෑම් 250
  2. බිත්තර 1
  3. කහ තේ හැඳි 1/2
  4. මිටිකිරි කෝප්ප 2
  5. ලුණු
  6. ලියාගත් කරපිංචා ටිකක් කැමති නම්

  • මේ ඔක්කොම කලවම් කරලා මිටිකිරි දාලා උකු බැටර් එකක් හදාගන්න. ලුණු රස අනුව දාගන්න.
  • තෙල් තාච්චිය ලිපේ තියලා කොකිස් අච්චුව තාච්චිය ඇතු​ළෙ ටිකක් වෙලා තියලා රත් කරගන්න.
  • දැන් කොකිස් අච්චුව අරගෙන තෙල් ටිකක් ගසලා කොකිස් බැටර් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළට ඔබන්නෙ නැතුව අච්චුවේ උසෙන් 3/4ක් වගේ බැටර් එක තවර ගන්න. 
  • දැන් මේක තෙල් එකේ ඔබාගන්න. හැබැයි අඩියෙ ගෑවෙන්න දෙන්න එපා. එහෙම උනොත් කොකිස මුක්කන් වෙනව. 
  • කොකිස බැදීගෙන එනකොට ඉරටුවක් ​හෝ කූරක් ආධාරයෙන් කොකිස අච්චුවෙන් ගලවගන්න පුළුවන්. දැන් දෙපැත්ත හරවමින් බැදගෙන තෙල් බේරගන්න. කොකිස් අච්චු පදම් කරන්න අමාරු අයට නන්ස්ටික් අච්චු තියෙනවා දැන් වෙළඳපලේ. 

කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය 


  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. තම්බපු පාන්පිටි ග්‍රෑම් 200
  3. සීනි  ග්‍රෑම් 250
  4. පැණි බෝතල් 3/4
  5. පොල්කිරි කෝප්ප 1/2
  6. ලුණු
  7. බැදගැනීමට තෙල්

  • භාජනයක් ලිපේ තියලා පැණි, සීනි හා පොල්කිරි දාලා උණු කරගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
  • මේකට වෙන වෙනම හලාගත්ත පාන්පිටි හා හාල්පිටි එකතු කරලා අනාගෙන පැය 8ක් වගේ වහලා තියන්න.
  • දැන් උණුවතුර කෝප්ප එකක් නිවෙන්න තියලා ඒකෙන් ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. උකුමත් නැති දියාරුමත් නැති මිශ්‍රණයක් හදාගන්න. 
  • තෙල් තාච්චිය ලිපේ තියලා තෙල් හොඳ​ට රත් උනාම පිටි මිශ්‍රණයෙන් ටිකක් පොඩි උල් කටක් තියෙන කෝප්පෙකට දාගන්න. මේ කෝප්පෙ එක කැවුමකට ඇති වෙන සයිස් එකක් නම් ඔයාලට වැඩිය ලේසියි.
  • කෝප්පෙ උල් කට පැත්තෙන් තාච්චියේ අඩියට මිශ්‍රණය වක්කර ගන්න. ඒ වක්කරපු මිශ්‍රණය උඩට තෙල් හැන්දෙන් වටේ තියෙන තෙල් ඉසගන්න. වටෙන් මිශ්‍රණය තැම්බිලා මැද පිම්බෙන කොට ඉරට්ටක් අරගෙන කැවුමෙ මැද්දෙන් තියලා කරකවමින් තෙල් ඉහින්න. එතකොට පෙනෙයි කැවුමෙ කොණ්ඩෙ හැදිලා එනවා.
  • මේකට අත පොඩ්ඩක් හුරු වෙනකල් අමාරු වෙයි. ඒත් වැඩේ අතාරින්න එපා ඕන්.

කුස්සියේම වවාගන්න පුළුවන් ආහාර රසකාරක කොළ වර්ග

සමහර සමහර කෑම ජාති හදන කොට ඔය කොත්තමල්ලි කොළ ටිකක්, ළූණු කොළ ටිකක් එහෙම තිබ්බ නම් හොඳයි කියල හිතෙනවනෙ. හැබැයි මේ සමහර කොළ වර්ග ගෙනල්ල ෆ්‍රිජ් එකේ උනත් වැඩි දවසක් තියාගන්න බැහැ. ඉක්මණින් නරක් වෙන්න බලනව. ලොකු ප්‍රමාණ ඕන නොවෙන මේ කොළ වර්ග අපිට ගෙදරම වවාගන්න පුළුවන් නම් හොඳයි නේද? අද ලයිෆි අපි කියල දෙන්න හදන්නෙ සරලව එහෙම ගෙදරම වවාගන්න පුළුවන් කොළ වර්ග 5ක්.

සැලකිලිමත් විය යුතු කරුණු


ආලෝකය


මේ පුංචි පුංචි පැල නම් කුස්සියේම අපිට වවාගන්න පුළුවන්. කුස්සියේ ආලෝකය ලැබෙන ජනේලයක් අසල තමා සුදුසුම. මහල් නිවසක නම් බැල්කනියක වගේ හදාගන්න පුළුවන්. ගොළුබෙල්ලන් වගේ සත්තුන්ගෙන් වෙන්න පුළුවන් හානිය නැතිකරගන්න මේ වගේ පැල එළිමහන් වගාබිමක නැතුව නිවස තුළම වවාගන්න එක තමා හොඳ.

පාවිච්චි කරන්න පුළුවන් බඳුන්


පොඩි පෝච්චි, අයිස්ක්‍රීම් පෙට්ටි, හරස් අතට කපාගත් ප්ලාස්ටික් බෝතල් වගේ ඉවතලන ප්ලාස්ටික් බඳුන් වල මේ පැල හදාගන්න පුළුවන්. අවශ්‍ය පරිදි සිදුරු කරගෙන අමතර ජලය බැස යන විදියට ට්‍රේ එකක් මත තබාගන්න.

පස සකසා ගැනීම

වැලි:පස්:කොම්පෝස්ට් 1:1:1 අනුපාතයට මිශ්‍ර කරගන්න. පස් අව්වේ වියලා පෙනේරයකින් හලාගෙන ගන්නව නම් හොඳයි. 

වතුර දැමීම

ස්ප්‍රේ බොට්ල් එකකින් වතුර දමන්න. අවශ්‍ය නම් විතරක් මේ වතුරටම දියර පොහොර එකතු කරගන්නත් පුළුවන්. ලොකු අස්වැන්නක් ගන්න වගාවක් නොවෙන නිසා පොහොර යෙදීම අත්‍යාවශ්‍ය කරුණක් නම් නෙවෙයි.

අස්වැන්න ලබාගැනීම

එදිනෙදා භාවිතයට ලබාගන්න කොළ වර්ග නිසා නිතර කඩාගැනීමෙන් නැවත දළුලන ඉඩ වැඩියි. මුලත් එක්කම මේ පැල ගලවා ගන්නවා නම් සතියකට වරක් බැගින් තවාන් සකසා ගන්න.

1. කොත්තමල්ලි කොළ (Cilantro)

කොත්තමල්ලි ඇට මිටක් සාමාන්‍ය ඇල් වතුරෙ රැයක් පෙඟෙන්න තියන්න. ඉහත උපදෙස් පරිදි සකසා ගත් බඳුනක ඇට විසුරුවලා උඩින් තුනී පස් තට්ටුවක් විසුරුවල වතුර ස්ප්‍රේ කරගන්න. සතියකින් විතර පැල එන්න පටන් ගන්නව. සම්පූර්ණයෙන් වැඩුණු ගසක් සති 7කින් විතර ලබාගන්න පුළුවන්. සාමාන්‍ය භාවිතයට කොළ සති 4න් විතර ගන්න පුළුවන්. ගෙදර තියෙන සාමාන්‍ය කොත්තමල්ලි සාර්ථක නෑ කියල හිතෙනව නම් පැල තවානකින් ඇට ලබාගන්න.

2. උළුහාල් පැල (Dill)

උළුහාල් ඇට රැයක් පෙඟෙන්න තියාගත් උළුහාල් ඇට තෙත ටිශූ එකක් දමා ගත් බඳුනක තුනී කර ඉර එළිය කෙලින්ම නොවැටෙන තැනක දින දෙක තුනක් තියන්න. ටිශූ එකේ තෙත වියලෙන්න නොදී නිතර වතුර ඉසගන්න. බීජ වලින් පැල එන කොට පෙර පරිදි සකසා ගත් පසේ පැල කරගන්න. සතියක් පමණ වැඩුණු උළුහාල් පැල සලාදයට, කරියට යොදාගන්න පුළුවන්.

3. ළූණු කොළ (Spring Onion)

ප්ලාස්ටික් බෝතලයක වටේම තැන තැන සිදුරු සාදාගන්න. එයට සකසාගත් පස් පුරවා ගන්න. සිදුරු වලට රතුළූණු ගෙඩි වල මුල් සහිත කොටස පසට සිටින සේ ඇතුල් කරගන්න (රූපයේ පරිදි). වතුර ස්ප්‍රේ කර ආලෝකය ලැබෙන ස්ථානයක තබන්න. සති 8කින් පමණ වැඩුණු ළූණු කොළ ලබාගන්න පුළුවන්. කොළ විතරක් කපා ඉවත් කරගත් විට නැවත එම ළූණු අලයම වැවෙන්න තියන්නත් පුළුවන්. මේ ආකාරයටම සුදුළූණුත් පැල කරගන්න පුළුවන්.

4. මුං පැල (Mung Bean Sprouts)

මුං ඇට රැයක් පෙඟෙන්න තියාගන්න. උළුහාල් වල පරිදිම ටිශූ එකක් දමාගත් බඳුනක දින තුන හතරක් පැල වෙන්න ඇර පසේ පැල කරගන්න. සතියකින් පමණ පියළි බෙදී දළු එන විට ආහාරයට එක් කරගන්න.  

5. මිංචි කොළ (Mint Laves)

අපි කඩෙන් ගේන මිංචි පැල වල මුල් කොටස සමඟ කඳෙන් අඟල් දෙකක විතර ප්‍රමාණයක් කොළ දෙක තුනක් එක්ක ඉහත සකස් කළ පසේ සිටවා මිංචි පැල පහසුවෙන්ම හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් පැල තවානකින් මිංචි ඇට ලබාගෙන පැල හදාගන්නත් පුළුවන්. හොඳින් හිරු එළිය ලැබිය යුතු පැලයක්. ඒ වගේම නිසි පරිදි වතුර යෙදීමත් කළ යුතුයි.

ප්‍රතිශක්තිය වැඩි කරන අපේ රටේ ආහාරපාන

මේ දවස්වල නිරන්තර අවධානය යොමු වෙන දෙයක් තමයි ශරීර ප්‍රතිශක්තිය වර්ධනයට තියෙන ආහාර වර්ග. ඒ බොහෝ දේවල් කාලයත් එක්ක අපේ මිනිස්සුගෙන් ඈත් වුණ අපේ ම දේවල්. මේ දවස්වලට විතරක් නෙවෙයි මතු අනාගතයටත් මේ දේවල් දිගටම භාවිත කරන එක ශරීර සෞඛ්‍යයට වටිනවා.


1. කොත්තමල්ලි


උණ හෙම්බිරිස්සාවට විතරක් ජාතික පානය වුණ නමුත් පුරුද්දක් විදියට කොත්තමල්ලි බොනවා අඩුයි. ශරීර ප්‍රතිශක්තියට කොත්තමල්ලිවල තියන ප්‍රතිඔක්සිකාරක ගුණය ගැන කාර්මික තාක්ෂණ ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය එක්ක කරපු පරීක්ෂණයකින් ඔප්පු වෙලා තියනවා. ඒ නිසා හැමදාම නැතත් දවස් දෙකකට වරක් හෝ කොත්තමල්ලි පානය කරන්න.



2. පාවට්ටා


පාවට්ටා ශාකය අපේ ආයුර්වේද ක්ෂේත්‍රයේ ඉහළින් ම ඉන්න ඖෂධ ශාකයක්. ප්‍රතිශක්තිකරණයේ පටන් පිළිකා නසන ඖෂධයක් දක්වා පරාසයක පාවට්ටා භාවිතයට ගැනෙනවා. පාවට්ටා දළු සහ පාවට්ටා මුල් තමයි විශේෂයෙන් භාවිත කරන්නේ. තිත්ත රසය මදක් වැඩි නිසා කොත්තමල්ලි සහ සුදුළූණු මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. සීනි එක්ක බොනවට වඩා මී පැණි හෝ හකුරු එක්ක බොන්න.



3. පොලොස්


කොස් පොලොස් කාලා ඉස්සර යෝධයොත් සවිය ගත්තා කියනවනෙ. පොලොස් ඇඹුලට පුළුවනි රුධිරයේ තියන ප්‍රතිශක්තිකරණ ගතිය වැඩි කරවන්න. හැබැයි ඒකට ඇඹුල හරියට හැදෙන්න ඕනි. ප්‍රෙෂර් කුකර් එකකින් හදාගන්න පොලොස බඩගින්න නිවාගන්න හොඳයි. ළිපේ ගින්දර කළමනාකරණය කරගෙන තුනපහ සහ මිටිකිරි එක්ක ඇඹුල් වෙන්න ඉඩ අරින පොලොස් ඇඹුලට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්.



4. බතල


බතල තම්බා කෑමෙන් වෙන දහසකුත් පෝෂ්‍යදායී ප්‍රතිඵලයන්ගෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහයෝගයක් ලැබෙන්නේ සුදු රුධිරාණු නිපදවීමට දෙන දායකත්වයයි. ප්‍රතිඔක්සිකාරවලට අමතරව විටමින් සහ ඛනිජ ලවණවලින් අනූනයි. 



5. සුදුළූණු


වෑංජනයක් හෝ කැඳ විදියට සුදුළූණු ශරීරගත කරගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය නොසිතූ විදියට ඉහළ නංවාගන්න පුළුවන්. මෙහි තියන ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්සිකාරකය විෂබීජයේ ප්‍රතිජීවක සහ ප්‍රතිවෛරස ගුණාංග ඉහළයි. 



6. වෙනිවැල්


කොරෝනා ව්‍යාප්තියත් එක්ක යළිත් සාකච්ඡාවට ලක් වුණ දෙයක් තමයි වෙනිවැල් ගැට පානය. වෙනිවැල් ගැට තම්බා බොන්න හොයාගන්න නැති නම් වෙළඳපොළේ තියනවා වෙනිවැල් ගැට පිටි. ඒවා අරගෙන තේ හදනවා වගේ හදලා බොන්න පුළුවන්. 



7. දෙහි කොළ 


දෙහි කොළ ටිකක් අරගෙන උණු වතුර කෝප්පයකට දාලා තැම්බෙන්න හරින්න. තේ වෙනුවට පානය කරන්න. දෙහි කොළ කීපයක් හොයා ගන්න අමාරු නම් ඕනෑම පැඟිරි ශාකයක කොළ භාවිත කරන්න පුළුවන්.