Search This Blog

Monday, June 29, 2020

වසවිස නැතිව ෆුඩ් කලරින් ගෙදරදීම හදාගන්න හැටි මෙන්​න

වර්තමානය වෙනකොට ලෝකයේ ආහාර කලාවට නැතුවම බැරි දෙයක් තමයි ෆුඩ් කලරින් කියන්නෙ. අද අපි ඔයාලට කියන්න යන්නෙ කඩෙන් ගන්න කලරින් වලින් ඔබ්බට ගිහින් සෞඛ්‍යාරක්ෂිතව කලරින් හදාගන්න හැටි ගැනයි. පුංචි බබාල ආස පාට පාට දාපු කෑම වලට. ඒත් එහෙම කියල අපිට කෘත්‍රිම ෆුඩ් කලරින් හිතේ බයක් සැකක් නැතුව බබාලට දෙන්න හිතෙන්නෙ නෑනෙ. මේ විදියට ස්වභාවිකව හදාගන්න කලරින් බයක් නැතුව බබාලට හැමදාම උනත් දෙන්න පුළුවන්. 

1. ෆුඩ් කලරින් වල භාවිතය

කේක් එකක් හැදුවත්, පුඩින් හැදුවත්, සැන්ඩ්විච් හැදුවත්  මේ ඕනම කෑමක් වර්ණවත් කරගන්න පාවිච්චි කරන්නෙ ෆුඩ් කලරින්. ගොඩක් ස්වීට් වර්ග හදාගන්න තමා අපිට ෆුඩ් කලරින්  ඕන වෙන්නෙ. ෆුඩ් කලරින්  දියර සහ පේස්ට් වශයෙන් ලබාගන්න පුළුවන්. කේක් කලාවට නැතුවම බැරි දෙයක් තමයි මේ. ඒ වගේම සේවරි ෆුඩ් වලටත් දැන් එකතු කරනවා. පොඩි බබාලට කවාගන්න අමාරු උනාම ලස්සන පාටට පේන්න මෙහෙම හදලා දුන්නම එපා නොකියා කනවනේ.

2. දැනට වෙළඳපොළේ තියන කලරින් වල ගුණ අගුණ

බ්‍රෑන්ඩඩ් වුනා හෝ නැතා ෆුඩ් කලරින් හදන්නෙ රසායනික භාවිතා කරලා. ඒ නිසා නිතර නිතර කෑමවලට භාවිතා කිරීම ඒ තරම් ශරීරයට ගුණදායක නැහැ.  ඕනම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ කියනවනේ. ඒ නිසා කලරින් උනත් භාවිතයෙදි පරිස්සම් වෙන්න ඕනේ. කඩ කෑම බොහොමයකට මේ කලරින් භාවිතා කරනවා. සෞඛ්‍ය අංශ කියන විදියට පිළිකා රෝගකාරකයක් බවට  කලරින් වර්ග හදන සමහර කෙමිකල් පත් වෙලා තියනවා. ඒ නිසාමයි මේ වෙනකොට නැචුරල් ෆුඩ් කලරින් වලට අපේ ගොඩක් අය යොමු වෙන්න පටන් අරන් තියෙන්නෙ. පොඩි දරුවන්ට දෙනකොට අපි සෞඛ්‍ය ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒ වගේම පොඩි අය කෑම වලදි ඇහැට ප්‍රියතාවයක් බලන නිසා මේ වෙලාවෙදි අම්මලා අසරණ වෙනවා. මේ හැම එකකටම විසඳුමක් ලෙස අපිට මේ ස්වභාවික වර්ණක හඳුන්වන්න පුළුවන්.

3. ස්වභාවික වර්ණක වල ඉතිහාසය

හිස්ට්‍රි රිපීට්ස්, නැත්නම් පරණ දේවල් නැවත නැවත කරළියට එන එක වළක්වන්න බැරි සත්‍ය​යක්. ස්වභාවික වර්ණ නැත්නම් නැචුරල් ෆුඩ් කලරින් තමා කලරින් ඉතිහාසයේ මුල්ම කාලෙ පාවිච්චි උනේ. ලේඛනගත ඉතිහාසයේ ඊජිප්තු යුගයේ ඉඳන් මේ වර්ණක පාවිච්චි වෙලා තියෙනව. ආර්ටිචෝක් ඇට වලින් රතු, අමුකහ, උණු කළ සීනි වලින් දුඹුරු පාට වගේ ස්වභාවික වර්ණ භාවිතය අදක ඊයෙක පටන් ගත්තු දෙයක් නෙවෙයි. ඉල්ලුමට සැපයුම, කල් තබාගැනීම සහ විවිධාකාර වර්ණ වල අවශ්‍යතාවය නිසායි රසායන භාවිතයෙන් කලරින් හදන්න පෙළඹිලා තියෙන්නෙ පසුකාලීනව.
උඩින් කිව්වා වගේ ස්වීට් වර්ගවලට, කේක් වලට, බත් වර්ග හදන්න, බීම වර්ග, පොඩි අයගෙ කෑම වලට, ඉඳිආප්ප, පෑන්කේක්, පාට පාට සැන්ඩ්විච්, අයිස්ක්‍රීම් සහ අයිසින් ආදී මේ ඕනම කෑමකට මැච් වෙන විදියට වර්​ණ පාවිච්චි  කරන්න පුළුවන්.

4. පාවිච්චි කරන අමුද්‍රව්‍ය

නැචුරල් කලරින් හදාගන්න නම් ඉතින් මූලිකවම ගන්නෙ එළවළු හා පළතුරු. මීට අමතරව අවශ්‍ය පාට බලලා අපිට අල වර්ග, කොළ වර්ග ධාන්‍ය වර්ග උනත් ගන්න පුළුවන්. වතුර ස්වල්පයක් එක්ක යුෂ අරගෙන තමයි මේ කලරින් හදාගන්න වෙන්නෙ. බබාලට වස විස දෙන්න අකමැති අම්මලා ගෙදරදිම උත්සහ කරන්න මේ වගේ ගුණාත්මක දේවල් වලින් කලරින් හදාගන්න. කොටින්ම බබාලා කන්න අකමැති එළවළු වල යුෂ වලින් ආහාර වර්ණ ගන්වන එකෙන් බබාලට අවශ්‍ය ගුණයන් ලබාදෙන්නත් හැකියාව තියෙනවා.


5. ස්වභාවික වර්ණ ගෙදරදීම හදාගන්න හැටි


රතු පාට


බීට් කපලා වතුර චුට්ටක් දාලා ග්‍රයින්ඩ් කරලා පෙරාගන්න. තම්බපු බිත්තර බීට් කෑල්ලක් දාපු උණු වතුරෙ දාල තියල ගත්තම ලස්සන රෝස පාට වර්ණ බිත්තර හදාගන්න පුළුවන්. බත් වලට, නූඩ්ල්ස් වලට බීට් ජූස් පොඩ්ඩක් දාල ගන්න පුළුවන්. තම්බපු අල වලට දාල සැන්ඩ්විච් වලට පාවිච්චි කරන්නත් පුළුවන්. 

හොඳ රතු පාට දෙළුම් වල යුෂ පෙරල අරන් රතු පාට අවශ්‍ය බීම වර්ග වලට පාවිච්චි කරන්න පුළුවන්. ලෙමන් යුෂ වලට, බාර්ලි වලට ලස්සන පාටක් මේකෙන් එකතු වෙනව.

වදමල් තම්බපු වතුර පොඩි ළමයින්ට ගොඩාක් ගුණයි වගේම බීට් යුෂ වගේම ඕනම ආහාරයකට පාවිච්චි කරන්න පුළුවන්. 

පෑන්කේක්, ඉඳිආප්ප වගේ කෑම හදාගන්නත් මේ වර්ණක යොදාගන්න පුළුවන්. ඉඳිආප්ප අනන කොට මුලින්ම වර්ණක දාගෙන ඊට පස්සෙ අවශ්‍ය තරම් වතුර එක් කරල අනාගන්න. 

කොළ පාට


නිවිති කොළ වතුර එක්ක ග්‍රයින්ඩ් කරලා ලස්සන තද කොළ පාටක් ගන්න පුළුවන්. පොඩ්ඩො ටිකක් කන්න අදිමදි කරන ගුණ කෑමක් නිවිති කියන්නෙ. යන්තම් රස්නෙ වතුරෙ තැම්බෙන්න තියල ගත්තම නිවිති වලට ආවේණික තිත්ත රස අඩුවෙනව. 

ඒ වගේම රම්පේ යුෂ, පාස්ලි කොළ යුෂ වගේම කොළ කැඳ හදන්න ගන්න ඕනම කොළ වල සාරයෙන් කොළ පාට වර්ණකය හදාගන්න පුළුවන්. හැබැයි කරපිංචා වලින් නම් එන්නෙ ලස්සන බ්‍රයිට් කොළ පාටක් නෙමෙයි.

කහ පාට


කහපාට හදාගන්න හොඳට ඉදුණු අඹ වල යුෂ හෝ වට්ටක්කා යුෂ ගන්න පුළුවන්. හොඳ තත්ත්වයේ සැෆ්‍රන් උනත් කහ පාට ගන්න පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් අපේ ස්වභාවික කහ අල වලින් කහ වර්ණය ගන්න පුළුවන්. අමු කහ අල තම්බල හොඳින් අව්වෙ වේලගෙන කුඩු කරල ස්වභාවික කහ කුඩු හදාගන්න. 

තැඹිලි පාට


තැඹිලි කිව්ව ගමන් මතක් වෙන්නෙ කැරට් නේ. කැරට් යුෂ තමයි ගොඩක්ම භාවිතා කරන්න පුළුවන්. 

දම් පාට


නිවිති ඇට ග්‍රයින්ඩ් කරලා හදාගන්න පුළුවන් වගේම රාජාල තම්බලා ගන්න වතුර වලිනුත් පුළුවන්.

බ්ලූබෙරි වලිනුත් ලස්සන දම් පාටක් එනවා.

නිල්කටරොළු යුෂ වලට දෙහි බින්දුවක් දාලත් ලස්සන දම් පාටක් හදාගන්න පුළුවන්. 

නිල් පාට


කවුරුත් දන්නා පරිදි නිල් හදාගන්න තියන හොඳම ස්වභාවික ක්‍රමය නිල් කටරොළු මල්. ජූස් වලට, බත් වලට මේවා භාවිතා කරන්න පුළුවන්.

රෝස පාට


ස්ට්‍රෝබෙරි, රාස්බෙරි හෝ ඩ්‍රැගන්ෆෘට් වලින් ලස්සන රෝස පාටක් ගන්න පුළුවන්. වතුර ඉතාම ස්වල්පයක් දාලා යුෂ ගන්න.

දුඹුරු පාට


කෝපි ඇට කුඩු කරලා, කොකෝවා ඇට වලින්, සීනි කැරමල් වලින් වගේම තද තේ කහට වලිනුත් මේ වර්ණය ගන්න පුළුවන්.

No comments:

Post a Comment