කරවල ගෙදරදීම හදාගන්න හැටි
කරවල ඉතින් පොඩිම කාලෙ එච්චර කැමැත්තකින් නොකෑවට වයසෙන් වැඩෙන කොට පොල් සම්බෝලයක් එක්ක කරවල කෑල්ලක් බැදලා බත් කන එකේ රස දන්නෙ එහෙම කන උදවියම තමා. හාහා කතා ඇති දැන් වෙලාව කරවල හදාගන්න හැටි කියලා දෙන්නයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කැමති ඕනම මාළු වර්ගයකින් ග්‍රෑම් 500
- ලුණු
- සාමාන්‍යයෙන් කරවල හදාගන්න බල, මෝර, හාල්මැස්සන්, සාලයෝ, තලපත්, ඉස්සො වගේ මාළු වර්ග ගන්න පුළුවන්.
- මේ මාළු කොයි එක ගත්තත් සාමාන්‍යයෙන් අපි සුද්ද කරන විදියට ඔළුව ඉවත් කරල, කරමල් ඉවත් කරලා, බඩ ඇතුල තියන අනවශ්‍ය කොටස් ඔක්කොම අයින් කරගන්න. අලුත්ම මාළු ගන්න තියනවනම් ගොඩක් හොඳයි.
- පොඩි මාළු නම් කූරි පිටින් අරගෙන පොඩි කැපුම් දාගන්න ලුණු අල්ලන්න. තලපත්, මෝර වගේ ලොකු මාළු නම් හම සමඟම තීරු කපාගන්න.
- මේ මාළු ටික හොඳට සෝදාලා ලුණු හා දෙහි ටිකක් දාලා අතුල්ලන්න. ඒකෙන් මාළු වල තියන පිළී ගඳ නැතිවෙනවා.
- ආයෙ මේ ටික සෝදලා හොඳට වතුර බේරෙන්න තියන්න. වතුර බේරගත්තු මාළු වලට ලුණු මේස හැඳි එකක් දාලා කලවම් කරලා විනාඩි 10ක් වහලා තියන්න.
- යකඩ දැලක් හෝ නෙට් එකක් තැටියක් උඩින් දාගන්න. (අපිට අවන් එකේ දැල උනත් ගන්න පුළුවන්) ඒක උඩින් මේ මාළු ටික අඩුක් කරගන්න. මාළු උඩින් ලුණු ඉහින්න.
- දැන් මේ ටික දවස් 3ක් 4ක් හොඳ තද අව්වේ වේලගන්න.
- එහෙම නැත්නම් අවන් එකේ කරවල හදාගන්නත් අපිට පුළුවන්. අවන් එක සෙල්සියස් 170°ට ප්‍රීහීට් කරගන්න. අවන් එකේ යටින්ම තැටියක් දාල ඒකට උඩින් අවන් එකේ දැලක් මත දාපු මාළු දාගන්න. විනාඩි 15ක් බේක් කරගන්න.
- අවන් එක ඕෆ් කරල දොර අරින්නෙ නැතුව එහෙම්ම පැය 24ක් තියන්න. ඊලඟ දවසෙත් විනාඩි 15ක් බේක් කරගෙන අවන් එක ඕෆ් කරල දොර අරින්නෙ නැතුව පැය 24ක් තියන්න. මේ විදියට දවස් 2-3ක් මාළු ටික බේක් කරගන්න.
No comments:
Post a Comment